/
/
title icon
පුංචි ඡන්දයට එරෙහි පෙත්සම 23 ට කල් යයි – ඡන්දය තියන බවට මැතිවරණ කොමිසමෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට යළි ප‍්‍රතිඥාවක්.
පුංචි ඡන්දයට එරෙහි පෙත්සම 23 ට කල් යයි – ඡන්දය තියන බවට මැතිවරණ කොමිසමෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට යළි ප‍්‍රතිඥාවක්.
Editor
2 years ago
Share:
පුංචි ඡන්දයට එරෙහි පෙත්සම 23 ට කල් යයි – ඡන්දය තියන බවට මැතිවරණ කොමිසමෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට යළි ප‍්‍රතිඥාවක්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ යළි ප‍්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ, පළාත්පාලන ආයතන ඡුන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදීයි.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ සාලිය පීරිස් එහිදී පෙන්වා දුන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 වන වගන්තිය ප‍්‍රකාරව මැතිවරණ පැවැත්වීම සඳහා සියලූ‍ රාජ්‍ය ආයතන සහාය ලබාදීය යුතු බව දක්වා ඇති බවයි.

එහෙත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සිය සේවාදායකයින්ට විවිධ ගැටළු මතු වී තිබෙන බව ඔහු එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප‍්‍රකාශ කළා.

එම අවස්ථාවේ එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරුවරු, මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාට පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන ඡන්දය පවත්වන බවට ඉකුත් නඩු දිනයේදීද මැතිවරණ කොමිසම විසින් අධිකරණයට ප‍්‍රතිඥාවක් ලබා දුන් බවයි.

එම ප‍්‍රතිඥාව පරිදි කටයුතු කිරීමට මැතිවරණ කොමිසම ක‍්‍රියා කළ යුතුව ඇති බවයි මෙහිදී විනිසුරුවරු සඳහන් කළේ.

මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද සඳහන් කළේ මැතිවරණය පවත්වන බවට ලබා දුන් ප‍්‍රතිඥාවේ කිසිදු වෙනසක් නොමැති බවයි.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ප‍්‍රදානය කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවට ප‍්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා ප‍්‍රකාශ කළේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට සඳහන් කළේ මැතිවරණ කොමිසම නියමිත පරිදි පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බවට සිදු කරන ප‍්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමට පත්වන බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ ප‍්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම් විභාගය අත්හිටුවීමට ද නියෝග කළා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් පෙත්සමක් ගොනු කර තිබූ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප‍්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් අනෙක් පෙත්සම ගොනු කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින් හා අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන 340 ක පමණ නිල කාලය ලබන මාර්තු මස 19 වන දා අවසන්වීමට නියමිතව තිබෙන බවයි. ඒ අනුව අදාළ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි ඔවුන් අදාළ පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ‍්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව් විජේසුන්දර විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවීම මේ මස 23 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා. ඒ, එම පෙත්සම සලකා බැලීම සඳහා එස්. තුරේරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේයි.

එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මූලික විරෝධතාවක් මතු කරමින් පෙත්සම පවත්වා ගෙනයාමට නීතිමය පදනමක් නොමැති බවට තර්ක කලා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන ඡුන්ද විමසීම සඳහා තරඟ වදින දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නම් කර නොතිබීම බරපතල ඌනතාවක් බව ද එහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම මැතිවරණය පවත්වනු ලබන තේරීම්භාර නිලධාරීන් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර නොතිබීම ද තවත් බරපතළ ඌනතාවයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මැතිවරණ පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට තම සේවාදායකයින් බැඳී සිටින බවයි කියා සිටියේ.

එක් පුද්ගලයෙකු අධිකරණය හමුවට පැමිණ මැතිවරණය පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලා සිටි පමණින් එම සහනය ප‍්‍රදානය කිරීමට අධිකරණය බැඳී නොමැති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ප‍්‍රකාශ කළා.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් පෙත්සම්කාර යුද හමුදා කර්නල් වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කරුණු ඉදිරිපත් කළ අතර පසුව ලේඛනවල ඇති වූ අපැහැදිලිකම් හේතුවෙන් වැඩිදුර කරුණු දැක්වීම් ලබන 23 වනදා දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required