
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.
ඒ අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ යළි සළකා බැලූ අවස්ථාවේදීයි.
විදුලි කප්පාදුව සිදු වීම නිසා විභාගයට මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට දෙමව්පියන් පැමිණිලි කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම සිය පෙත්සමෙන් දක්වා තිබුණේ.
එම නිසා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස එමඟින් ඉල්ලා තිබුණා.
එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා අනුමැතිය පළ කර නොමැති බවයි.
අදාළ පෙත්සමේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය ඊයේ මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ.
මේ අතර, 12 වන ගල් අගුරු නෞකාවේ ගොඩබෑම් කටයුතු ඊයේ ආරම්භ කෙරුණු බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර ප‍්‍රකාශ කළා.
තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති බවයි ඔහු කියා සිටියේ.