
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ශරීර කොටස් විමර්ශන කටයුතු සඳහා ලබාගෙන තිබේ නම්, ඒවා සුරක්ෂිතව තබා ගැනීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය, රජයේ රස පරීක්ෂකවරයාට හා කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඊයේ නියෝග කළා. දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ පේ‍්‍රමරත්න කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් මෙම නියෝග නිකුත් කළේ.
එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, දිනේෂ් ෂාෆ්ටර් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණ දෙකක් ඇතුළු ප‍්‍රතිකාර කටයුතු සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.
එම ප‍්‍රතිකාරවලට සම්බන්ධ සියළු වාර්තා අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත‍්‍රාත්වරිය, මියගිය දිනේෂ් ශාෆ්ටර් සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රතිකාරවලට අදාල ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.
මේ අතර තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා, දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී සහ ඊට පෙරත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු සහ බොරැල්ල පොලිසියේ අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් විසින් ඡායාරූප ලබාගෙන ඇති බව සඳහන් කළා.
එම ඡුායාරූප සංයුක්ත තැටියකට ඇතුළත්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම ආයතන වෙත නියෝග නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඊයේ ඉල්ලීමක් කළා. එම ඉල්ලීමද පිළිගත් අතිරේක මහේස්ත‍්‍රාත්වරිය අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පවතීනම් ඒවා සංයුක්ත තැටියකට ඇතුළත් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම ආයතනවලට නියෝග කර සිටියා.
එමෙන්ම විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධය සිදු වූ ස්ථානයේ තිබී ආගන්තුක ජෛව සාම්පලයක් සොයා ගෙන ඇති බවත්, ඒවා එම ස්ථානයට පැමිණි පුද්ගලයින් හා සැසඳේද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත‍්‍රාත්වරිය අදාළ ජෛව සාම්පල සහ එම පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත පුද්ගලයින්, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය නියෝගය නිකුත් කළා.
අනතුරුව මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 17 වනදා යළි කැදවීමටයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවේ.