
විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිසමේ කිසිදු තීරණයක් මේ දක්වා තම මණ්ඩලය වෙත ලැබී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් ප‍්‍රකාශ කළා.
ඒ අනුව, විදුලිය කප්පාදුව නතර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.
කෙසේ වෙතත්, විදුලිය ගාස්තු 66%කින් ඉහළ දැමීම සඳහා වන විදුලිබල මණ්ඩලයේ යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් තිදෙනෙකු එකඟතාව පළ කර ඇති බව ඊයේ වාර්තා වුණා. එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ තමා එකඟත්වය පළ කළේ 36%ක ගාස්තු සංශෝධනයකට පමණක් බවයි.
වාර්ෂිකව රුපියල් බිලියන 287ක අමතර ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබුණා.
කොමිෂන් සභාව එය සමාලෝචනය කර විදුලි බිල සියයට 36 කින් එනම්, වාර්ෂිකව රුපියල් බිලියන 142ක අතිරේක ආදායමක් ලැබෙන පරිදි අදාළ යෝජනාවට විකල්ප ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ යෝජනාවට කොමිසමේ සෙසු සාමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර, සහ එස්.ජී.සේනාරත්න යන අය එකඟතාව පළ කර නොමැති බවයි වාර්තා වන්නේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප‍්‍රකාශ කළේ කොමිසමේ සෙසු සාමාජිකයින් තිදෙනා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ 66%ක ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව නොවෙනස්ව ක‍්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය දුන් බවයි.
මේ අතර, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ සහභාගීත්වයකින් තොරව එම කොමිසමේ සෙසු සාමාජිකයින් ඊයේ යළිත් වරක් රැස්වී තිබුණේ අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කිරීම සඳහායි.