
පළාත් පාලන ඡන්ද විමසීමට මුදල් ලබාදීමට ඇති බාධාව පිළිබඳව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේ අද කොමිසමට පැමිණි මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු පිරිස ඒ පිළිබඳව දැනුවත් කළ බවයි.
ඒ අනුව පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් ලබාදීමට ඇති දුෂ්කරතා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන්කිරීමට රජය ගත් පරිපාලනමය තීන්දුව සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාර ලේකම්වරයා, මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා.
එලෙස නම් කරන ලද අත්‍යවශ්‍ය සේවාවන්ට අමතරව වෙනත් කටයුත්තක් සඳහා මුදල් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවට වන යෝජනාවක්ද පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි සම්මත කරගෙන ඇති බව සඳහන්. ඒ අනුව මැතිවරණයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් පරිපාලනමය ගැටළුවක්ද මතුව තිබෙනවා.
එහිදී මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කරන ප‍්‍රතිපාදන ලබාදිය හැකි කාලසීමාව සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසයි.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මුදල් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් නිදහස් ජනතා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ රටේ පාලන ආකෘතිය අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිකුත් නොකිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති බවට තරයේ විශ්වාස කරන බවයි.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇතත්, තවමත් එම ආරක්ෂාව ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි ලියනගේ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ තමන් තැපැල් ඡන්ද පත්‍රිකා පිළිබඳ සිය තීරණය දැනුම්දීමට පෙරාතුවම මැතිවරණ කොමිසම තැපැල් ඡන්දය කල් දැමීමට කටයුතු කර ඇති බවයි.