
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ලබන 23 වනදායින් පසුව ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා. ඡන්ද විමසීම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම සම්බන්ධ තීන්දුව ලබාදීමෙන් අනතුරුව කොමිසම එම තීරණය ගැනීමට නියමිතයි.
පළාත් පාලන ඡන්ද විමසීමට මුදල් ලබාදීමට ඇති බාධාව පිළිබඳව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මැතිවරණ කොමිසම ඊයේ දිනයේදී දැනුවත් කළ බව එහි සභාපති නිතීඥ නිමල් පුංචිහේවා කියා සිටියා.
ඒ අනුව පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් ලබාදීමට ඇති දුෂ්කරතා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන්කිරීමට රජය ගත් පරිපාලනමය තීන්දුව සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාර ලේකම්වරයා, මැතිවරණ කොමිසම දැනුවත් කර තිබුණා.
මේ අතර ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡුන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු ඊයේ අත්හිටවනු ලැබුවා.
එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡුන්ද පත‍්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
මේ අතර භාණ්ඩාගාරයට මුදල් ලබා දීමට නොහැකි වුවහොත්, පළාත් පාලන ඡන්දයට අවශ්‍ය ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි වන බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියා.