
මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බව හෙට හෝ අනිද්දා මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක කියා සිටියේ ඊට අදාළ නීතිමය කටයුතු කොමිසමේ නීතිඥයින් විසින් සිදුකරන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බවට මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය 10 වනදා ප‍්‍රතිඥාවක් ලබා දී තිබුණා.
ඒ, පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් එදින කැඳවූ අවස්ථාවේදීයි. කෙසේ වෙතත් එම ප‍්‍රතිඥාවට අනුව කටයුතු කිරීමට මේ වනවිටත් මුදල් ලැබී නොමැතිවීම හේතුවෙනුයි මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව දැනුම් දෙන්නේ.
මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත ආකාරයට පැවැත්වීම සඳහා සිදුකරන බාධා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්වන බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා. ඡන්ද යනු ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය අංගයක් බව පෙන්වා දෙන ඔවුන්, ඊට අත පෙවීම් සිදුකිරීමෙන් වළකින ලෙස පවසනවා.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කිරීමත් සමග ඡන්ද විමසීමට අදාළව ගත යුතු ඉදිරි පියවර පිළිබඳ උපදෙස් මාලාවක් දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ උපදෙස් මාලාව දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරින්ට සහ දිස්ත‍්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරින් වෙත ලිඛිතව යොමු කිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව, හෙට දින සිට කාර්යාල වේලාව සාමාන්‍ය කාර්යාල වේලාව බවත්, මැතිවරණ රාජකාරි වෙනුවෙන් වන අතිකාල රාජකාරි ද තාවකාලිකව අත්හිටුවන බවත් ඔවුන්ට එමගින් දැනුම්දී තිබෙනවා.