
පළාත් පාලන ඡන්දය පැවැත්වීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ‍්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ගොනුකළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද යළි කැඳවීමට නියමිතයි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් පැමිණිලිකරු ඉදිරිපත් කළ මෝසමක් පසුගිය 20 වනදා එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී එය අද දිනට පෙර සළකා බැලීම අනවශ්‍ය බව ඔහුගේ නීතීඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව එදින අදාළ පෙත්සම සළකා බැලීම සඳහා කළින් නියම කළ පරිදි අද දිනයේම කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.
රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තුළින් මහජනතාවට කිසිදු යහපතක් නොවන බව පෙන්වා දුන් පෙත්සම්කාර විශ‍්‍රාමික කර්නල්වරයා අදාළ ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු 9 දෙනෙකු නම් කර තිබෙනවා.
මේ අතර, නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ලබාදුන් ප‍්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්වයක් මතුවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 20 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ප‍්‍රමාණවත් මුදල් ප‍්‍රතිපාදන සහ අනෙකුත් පහසුකම් නොලැබීම ඊට හේතුව බවයි එම කොමිසම ප‍්‍රකාශ කළේ.
පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එම්.ඒ. සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු විසින් ගොනු කළ පෙත්සමට අදාළව මෝසමක් ඉදිරිපත් කරමිනුයි එදින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවේ.