
දීර්ඝ කාලීන විදුලි ජනන සැලැස්ම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ආරම්භයේ සිට මෙම වසරේ ජනවාරි 31 වනදා දක්වා ඉන්ධන ආනයනය පිළිබඳ සවිස්තර වාර්තාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
රජයේ ප‍්‍රතිපත්තිය වන 2030 වසර වනවිට පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය සියයට 70ක් දක්වා ඉහළ නැංවීම, 2050 වන විට කාබන් උදාසීනත්වයට පත් කිරීම සහ නව ගල් අගුරු බලාගාර ඉදිනොකිරීම යන ප‍්‍රතිපත්ති මත පදනම්ව මෙම දීර්ඝ කාලීන ජනන සැලසුම ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ යාන්ත‍්‍රික ඉංජිනේරුවරයෙකු විසින් සිදු කළ බව කියන අයථා ක‍්‍රියාකාරකම් වෙනුවෙන් වැයවූ ඇමරිකානු ඩොලර් මිලියන 1.88 ක පමණ මුදලක් තමන්ට ගෙවන ලෙස ස්ටර්ලින් සහ විල්සන් නැමැති ඉන්දියානු සමාගමක් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම සමාගම විසින් විදුලිබල මණ්ඩලය වෙත යොමුකර ඇති ලිපියකට අනුව මෙම අයථා ක‍්‍රියාව සිදුව ඇත්තේ මෙරට මෙගාවොට් 50 ක ඩීසල් විදුලි බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
අදාළ සමාගම විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද කොන්ත‍්‍රාත්තුවේ සදහන් කරුණු සැලකිල්ලට ගෙන සිය ලංසුව ඉදිරිපත් කර තිබෙනවා.
එහෙත්, අදාළ ඉංජිනේරුවරයා ඇතුළු කණ්ඩායම කොන්ත‍්‍රාත්තුවේ සඳහන් නොවන අතිරේක කර්මාන්තශාලා සංචාර සහ විදේශීය කර්මාන්තශාලා පරීක්ෂා කිරීම් සිදුකිරීම හේතුවෙන් අමතර මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් දහඅට ලක්ෂ 87,970 ක් වැය කිරීමට සිදුවූ බවයි අදාළ සමාගම සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදුව නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉංජිනේරුවරයාට ස්ථාන මාරුවීමක් පමණක් ලබාදී ඇති බවත් සඳහන්.
මේ අතර, කඩුවෙල – බෝමිරිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ, පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට ඉහළ නැංවූ විදුලි බිල ගෙවීමේ හැකියාවක් නොමැති බවයි.
මේ අතර, විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ ප‍්‍රදේශ කිහිපයකදී පන්දම් විරෝධතා පැවැත්වුණා.