
ජාතික ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතාව අතරතුර ඇතිවු නොසන්සුන්තාවයෙන් පසු රෝහල්ගත කෙරුණු පළාත් පාලන ඡන්දයට එම පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කළේ රත්නපුර – නිවිතිගල ප‍්‍රාදේශීය සභාවට තරඟ වදින නිමල් අමරසිරි නැමැති 61ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
මැතිවරණය කල් දැමීමේ කුමන්ත‍්‍රණයට එරෙහිව ‘‘විරෝධය කොළඹට’’ යන මැයෙන් විහාර මහාදේවි උද්‍යානය අසලින් ඊයේ මෙම විරෝධතාව ආරම්භ කළේ ඊට එරෙහිව පොලිසිය අධිකරණ නියෝග 2ක් ලබා ගෙන තිබු පසුබිමකයි.
අනතුරුව පාගමන පුරහල ප‍්‍රදේශයට පැමිණ කොටුව දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමග පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඉන් අනතුරුව ඇතිවු උණූසුම් තත්ත්වය හමුවේ පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇතුලත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.
ඒ අතරින් එක් අයෙකු ජිවිත්ක්ෂයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර,කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවේ අදාළ මරණය සම්බන්ධ වැඩිදුර තොරතුරු ප‍්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවයි.
මෙම ප‍්‍රහාරය දැඩිව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප‍්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ මුලික මිනිස් අයිතිවාසිකම්වලට එරෙහිව එල්ල කළ ප‍්‍රහාරයක් බවයි.
කිසිදු නායකයෙකු හෝ පක්ෂයක් සෑම විටම සහමුලින් නිවැරදි වී නැති බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, ජාතික ජන බලවේගය සංවිධානය කළ සාමකාමි විරෝධතා පාගමන ආණ්ඩුවේ ආරක්ෂකයින් විසින් මැඩපැවත්වු ආකාරය මුළු ලොවටම නිරුවත්ව දර්ශනය වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ප‍්‍රකාශ කලා. පසුගිය සතියේ සමගි ජන බලවේගයට මුහුණ දීමට සිදුවුයේද ආණ්ඩුවේ විසකුරු ප‍්‍රතික‍්‍රියාවන්ට බවයි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ මෙම විරෝධතා පාගමන කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප‍්‍රදේශයේ යුනියන් පෙදෙසේ කි‍්‍රයාත්මක වන අවස්ථාවේ විරෝධතා පාගමන් තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ බවයි.
එවන් පසුබිමක ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමත්, පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් පැය 24ක් ඇතුළත පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.