
පානදුර – පිංවත්ත – ටී ඩීමන් සිල්වා මාවතේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය වාද්දුව – වේරගම, සයිප‍්‍රස් උද්‍යාන මාර්ගය අසළ දමාගොස් තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.
යතුරුපැදියේ අංක තහඩු දෙක සහ ජැකැට්ටුවක්ද ඊට නුදුරින් වැටී තිබියදී හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ වෙඩි තැබීමෙන් සුඛෝපබෝගි ජීප් රථයක ගමන් කරමින් සිටි කඩවත – කිරිල්ලවල ප‍්‍රදේශයේ පදිංචි සම්පත් කුඩාගොඩ නැමැති 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් මියගියා.
මොහු කිරිල්ලවල ප‍්‍රදේශයේ මත්පැන් අලෙවිසැළක හිමිකරුවෙකු ද වනවා.
මියගිය පුද්ගලයාට පානදුර – පිංවත්ත – ටී. ඞීමන් සිල්වා මාවතේදී ඉදිකරමින් පවතින දෙමහල් නිවසක්ද පවතිනවා. ඔහු දරුවෙකු පාසලට ඇරළවා අදාළ නිවස වෙත එමින් සිටියදී වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.
එසේම මියගිය පුද්ගලයා සිය බිරිඳගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් මහර මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා.
එසේම තවත් තරුණියක් සමඟ මෙම පුද්ගලයා ඇසුරක් පවත්වා ඇති අතර, ඇයද ඔහු සමඟ ඉදි කෙරෙමින් පවතින නිවසට නිරන්තරයෙන් පැමිණෙන බවටයි හෙළිවී ඇත්තේ.
පවුල් ආරවුලක් මත වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මේ අතර, අම්බලන්ගොඩ – මීටියාගොඩ මාර්ගයේ කුලීගොඩ, රොන්නදූව ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මකයි.
අද උදෑසන යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් කළ වෙඩි තැබීමකින් මෙලෙස මියගියේ අම්බලන්ගොඩ – ඉඩම්තොට ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සිය බිරිඳ සේවා ස්ථානයට ඇරලවා, යළි යතුරුපැදියෙන් නිවස වෙත පැමිණෙමින් සිටියදී වෙඩි ප‍්‍රහාරයට ලක්වුණා.
මොහු පෙරේදා මාදම්පේ – වැල්ලබඩ ප‍්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ගේ ඥාතියෙකු බවට හෙළිවී තිබෙනවා. එදින තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ හේෂාන් මෙන්ඩිස් හෙවත් දොයියා නැමති 22 හැවිරිදි පුද්ගලයෙක්.
එසේම දොයියා නැමැත්තා අම්බලන්ගොඩ ඝාතන රැසකට මුල්වී ඇති සොයිසා පරපුර නියෝජනය කරන වසන්ත සොයිසාගේ පාර්ශවයේ සමීපතමයෙකු බවයි වාර්තා වන්නේ.