
ජාතික ජනබලවේගයේ විරෝධතාවට එක්ව සිටියදී මියගිය නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරිගේ දේහය ඔහුගේ පුතුට ඊයේ භාරදුන්නා.
ඒ, පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එය ඔහුගේ පුත‍්‍රයාට භාරදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ලබාදුන් නියෝගය අනුවයි.
පසුගිය ඉරිදා කොළඹ පැවති විරෝධතාවයේදී කඳුළු ගෑස් හේතුවෙන් ඇතිවූ වමනය නිසා නිමල් අමරසිරි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා. ඔහුගේ මරණය පිළිබඳව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ විසින් සිදුකළා.
එහිදී සිරුර භූමදානය කරන ලෙසටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමට තීරණය කෙරුණා.
එසේම මියගිය නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරිගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණු අතර, එහිදී ඔහුගේ දේහයේ කොටස් රස පරීක්ෂක සහ රසායනාගාර වෙත යොමු කිරීමෙන් පසු අවසන් වාර්තාව ලබාදෙන බවයි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ. ඉන්පසු දේහය ඔහුගේ පුත‍්‍රයාට භාරදුන් අතර, අවසන් කටයුතු අද නිවිතිගලදී සිදුකිරීමට නියමිතයි.
මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති ද පැමිණ සිටියා.