
රජයේ නව බදු ප‍්‍රතිපත්තියට එරෙහිව සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත‍්‍ර රැසක වෘත්තීය සමිති රැසක් අද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරත වනවා. මේ හේතුවෙන් එම ක්ෂේත‍්‍රවල කටයුතු අඩාල වනු ඇති බවයි ඊට සහය දෙන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප‍්‍රවාහන සේවා ආශි‍්‍රත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් මේ වන විට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද සිය සහයෝගය දැක්වීමට ඊයේ තීරණය කළා.
ඒ අනුව දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප‍්‍රතිකාර සේවා අද දිනයේදී ක‍්‍රියාත්මක නොවනු ඇති. එහෙත් මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල, වකුගඩු රෝහල් ඇතුළු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක‍්‍රියාත්මක නොවන බවයි එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික ප‍්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
සමස්ත ලංකා හෙද සංගමයද මෙම වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයට සහය පළ කරමින් අද පෙරවරු දහයේ සිට පස්වරු දෙක දක්වා රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත ප‍්‍රකාශ කළා.
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයද අද, කළු විරෝධතාවක් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කළු ඇදුමෙන් සැරසී, කළු පටි පැළඳ පාසල් වෙත පැමිණෙන බවයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ.
මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද අද දිවයින පුරා සියලූ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී සිය විරෝධය පළකරන බව ප‍්‍රකාශ කළා.
එමෙන්ම විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සම්පත් උදයංග නිවේදනය කළේ අද දිනයේ ක‍්‍රියාත්මක වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට සහය පළ කරන බවයි.
එමෙන්ම, තෙල්, විදුලි, ජල ක්‍ෂේත‍්‍රවල වෘත්තීය සමිති අද දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කරමින් සිය විරෝධතාව පළකිරීමට නියමිතයි. ඒ අනුව විදුලි සහ ජල ක්ෂේත‍්‍රවලට අදාළව හදිසි බිඳවැටීම් යථාවත් කිරීමට පමණක් සේවා සපයන බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.
වරාය වෘත්තීය සමිති ද මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එක්ව සිටිනවා. ඒ හරහා භාණ්ඩ ගොඩබෑම්, නැව් පැමිණීම් සහ පිටවීම් සම්පූර්ණයෙන් අඩාල වනු ඇති බවයි එම වෘත්තිය සමිති සඳහන් කළේ.
මේ අතර, රජයේ නව බදු ප‍්‍රතිපත්තියට විරෝධය දක්වමින් අද දිනයේදී මහබැංකු සේවකයින්, රජයේ සහ පෞද්ගලික බැංකු ද වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරත වනවා. ඒ හේතුවෙන් අද රාජ්‍ය සහ පෞද්ගලික බැංකු බොහොමයක කටයුතු අඩාල වනු ඇති බවයි වෘත්තීය සමිති පැවසූවේ.
කෙසේ වෙතත්, උපරිම සේවාවක් සැලසීම සඳහා තම බැංකු සූදානම් බවට මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කළා.
මේ අතර දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති ගණනාවක්ම අද වර්ජනයට එක්වන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බවයි අප කළ විමසීමකදී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ.
කෙසේ වෙතත්, අද ක‍්‍රියාත්මක වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට සිය සහය පළනොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.