
ලොව විශාලතම මගී ප‍්‍රවාහන ගුවන් යානය අද අළුයම දිවයිනට පැමිණ තිබෙනවා.
මගීන් 413 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 29 දෙනෙකු රැගත් ඒ 380 – 800 වර්ගයේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 449 යානය අද අළුයම 3.10 ට කටුනායක ගුවන් තොටුපලට ගොඩ බැස්සවූ බවයි ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ. මෙම යානය මීට පෙරද දෙවතාවක් දිවයිනට පැමිණ ඇති බව සඳහන්.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි බලා ගමන් ගනිමින් සිටියදී අවශ්‍ය තරම් ඉන්ධන ලබාගැනීමේ අරමුණිනුයි ගුවන් යානය මෙලෙස කටුනායකට පැමිණ ඇත්තේ.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපල ඛනිජතෙල් පර්යන්තයෙන් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක ජෙට් ඒ වර්ගයේ ඉන්ධන ලීටර 62,800 ක් ලබාගෙන ඇති බව සඳහන්.
ඩුබායි ගුවන් තොටුපල අවට මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාලගුණ තත්වය නිසා එකවරම ගුවන්තොටුපලට ගොබැස්සවීමට නොහැකි වුවහොත් වට කිහිපයක් ගමන් කිරීමටයි එම යානය මෙලෙස ඉන්ධන ලබාගෙන ඇත්තේ.