
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන නඳුන් චින්තක හෙවත් හරක්කටා සහ සලිඳු මල්ෂිත හෙවත් කුඩු සලිඳු ඇතුළු පිරිස සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද මැඩගස්කරය බලා පිටත් වෙනවා. මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළත්.
විමර්ශණ භාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එරට පවතින නීතිමය තත්වය අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි.
මෙම සැකකරුවන් මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ, විදේශ කටයුතු අමාත්‍යංශයට පසුගියදා නිල වශයෙන් දැනුම්දී තිබුණා.
ෂී සෙල්ස් රාජ්‍යයේ පිහිටි මෙරට මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.
මැඩගස්කරයේ ඉවොටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කර තිබූ රතු වරෙන්තුවකට අනුව, මොවුන් අත්අඩංගුවට ගත් අතර මෙම පිරිස අතර හරක්කටාගේ බිරිඳ සහ ඇයගේ පියාද සිටින බව සඳහන්.
පෞද්ගලික ජෙට් යානයකින් ඔවුන් පෙබරවාරි මස 12 වන දා මැඩගස්කරයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සුපිරි ධනවතුන් ලෙස පෙනී සිට ඇති බව සඳහන්.