
ලබන සඳුදා සිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජන ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබුණා.
ලබන 15 වනදා ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ඒකාබද්ධ වෘත්තීය සමිති වැඩවර්ජන ක‍්‍රියාමාර්ගයට සහය පළකරමින් එය සිදුකරන බවයි එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
එමෙන්ම, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාරද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඉල්ලීම් 07 ක් මුල්කරගනිමින් තම සංගමයද 15 වනදා වර්ජනයට එක්වන බවයි. කෙසේ වෙතත්. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වර්ජනවලට තම සංගමය සහය ලබානොදෙන බවයි.
මේ අතර, ලබන 15 වනදා වෘත්තිය සමිති රැසක් එක්ව ආරම්භ කිරීමට නියමිත වර්ජනයට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයද සහය පළකරන බවයි විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් සඳහන් කළේ.
එසේම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊයේ ආරම්භ කළ වර්ජන ක‍්‍රියාමාර්ගය ඊයේ දෙවන දිනටත් ක‍්‍රියාත්මක වුණා. එමෙන්ම ලංකා ගුරු සංගමයද 15 වනදා එක්දින වර්ජනයක නිරත වන බවයි ප‍්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත්, ප‍්‍රගති බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වර්ජන ක‍්‍රියාමාර්ග හරහා රටේ ආර්ථිකයට සහ බැංකු පද්ධතියට සිදුවිය හැකි ප‍්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් මෙම වර්ජන ක‍්‍රියාමාර්ගයට සහභාගි වීම සම්බන්ධයෙන් තම ස්ථාවරය ලබන 13 වනදා ප‍්‍රකාශයට පත්කරන බවයි.
මේ අතර, සිසු විරෝධතාවක් අතරතුර කඳුළු ගෑස් ප‍්‍රහාරය එල්ල කළ අවස්ථාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නාන කාමරයක් තුළ ඇදවැටී සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය එහි ආරක්ෂක නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණා.
පොලිස් මෘත ශරීරාගාරයේදී එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු දේහය ඔහුගේ බිරිඳට භාරදුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ විරෝධතා විසුරුවා හැරීමේදී විෂ සහිත කදුළු ගෑස් යොදාගන්නා බව පවසමින්.