රටක සභ්‍යත්වය කෙරෙහි ප්‍රබල ව බලපාන සාධක අතරින් අර්ථ ක්‍රමය සුවිශේෂී වන්නකි. මෙරට සභ්‍යත්වය ගොඩ නැගුණේ වී ගොවිතැන මුල් කොට ගනිමින් ය. ගම , රට බත බුලතින් සරුසාර වූයේ මේ නිසාවෙනි. එය දේශයේ ජීවනාලිය බවට පත් විය. බෞද්ධ ඉගැන්වීම් වලට අනුව ගොවිතැන යහපත් ජීවනෝපායක් විය. ඒ මඟ යමින් පෙර රජ දවස රජවරුන්ගේ ප්‍රමුඛ කාර්යභාරය වූයේ ද ගොවිතැන සරුසාරවත් කිරීමට ඇප කැප වීම ය. ගොවිතැන ආරම්භ කිරීමට ප්‍රථම, ගොවිතැන සිදුකරලන කාලසීමාවේ සහ අස්වනු ලබාගැනීමේදීත්, අස්වැන්න නිවසට ගෙන ඒමත් ඉන් ඉක්බිති සිදු කරන සිරිත් විරිත් රැසකින් වී ගොවිතැන ඔප් නැංවී ඇත්තේ ය. ඒ සෑම පියවරක් ම ඉමහත් වගකීමකින් හා භක්තියකින් යුතුව ඉටු කරන ලදී.
‘කෙත’, ‘කුඹුර’, ‘වෙල’, ‘ලියද්ද’, ‘උබර’, ‘වගා පංගුව’, ‘කොඹර’ යනුවෙන් විවිධ පළාත් වල කෙත හඳුන්වනු ලබන අතර වී ගොවිතැනේ සංස්කෘතිය ගොඩ නැඟී ඇත්තේ පරාර්ථකාමීත්වය පදනම් කරගෙන ය. ගොයම් කයිය, නිකමට වැඩ කිරීම, පින් කයිය හරහා සහයෝගීත්වය පිළිබිඹු කරන ලදී. කයියට සහභාගී වන පිරිසට ආහාර එනම් ‘ඇඹුල’, ‘කයිබත’,’මුත්තෙට්ටුව’, ‘වෑදම’ ලෙසට විවිධ නම් වලින් හඳුන්වන අතර කමත අසීමිත භක්තියකින් යුක්ත තැනක් විය. ඒ හේතුවෙන් කමතටම වෙන් වූ සුවිශේෂී බස් වහරක් දැකගත හැකි විය. ගොවිතැන ආරක්ෂා කිරීමට පරිසර හිතකාමී ක්‍රමෝපායන් හා පිළිවෙත් අනුගමනය කරමින් ගොවිතැන ධාර්මික ජීවනෝපායක් බවට පත් කරගන්නා ලදී. කුරුල්ලන්ගෙන් කෙතට වන්නා වූ හානිය වළක්වා ගැනීමට කුරුලු පාළුව නමින් වෙනම ලියද්දක් වෙන් කෙරිණි.
ගොවිතැන් කටයුතු සඳහා බ්‍රහස්පතින්දා , සෙනසුරාදා , සඳුදා යන දින සුබ දවස් ලෙසත් අඟහරුවාදා , සිකුරාදා , ඉරිදා අසුබ දින ලෙසත් සලකන ලදී. අසුබ යැයි සැලකුණු දිනයන් හි ගොවිතැන් කටයුතු වලින් ඉවත් වී සිටීමට ගොවියා උත්සුක විය.
වී අස්වැන්න නිවසට ගැනීමෙන් ඉක්බිති ‘අලුත් සහල් මංගල්‍යය’ පවත්වමින් අස්වැන්නේ අගසස් කොටස බුදුරජාණන් වහන්සේටත්, දෙවියන්ටත් පූජා කිරීමෙන් තම කෘතවේදීත්වය පිරි නැමීම සිදු කරනු ලබයි.
අලුත් සහලෙන් විහාරයට දානය පිරිනැමීම, දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ට අලුත් බතින් සංග්‍රහ කිරීන මත එකිනෙකා කෙරෙහි සහජීවනය ගොඩනංවා ගත් අතර ගොවිතැන වූ කල්හි අධ්‍යාත්මික හා භෞතික ව්‍යුහ රැසක එකතුවක් විය.