
තවත් ගල් අඟුරු නෞකා 03 ක් මේ වනවිට දිවයිනට ළඟා වී තිබෙනවා. ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ ඒ අනුව මේ වනවිට ගල් අඟුරු නෞකා 19 ක් දිවයිනට පැමිණි ඇති බවයි.
පසුගිය 16 වනදා පැමිණි 17 වන ගල් අඟුරු නෞකාවේ ගොඩබෑම් කටයුතු මේ වනවිට සිදු කෙරෙන අතර, ඊට අමතරව තවත් නෞකා දෙකක ගල් අඟුරු ගොඩබෑමට නියමිතව තිබෙනවා. ඒ අනුව 18 වන සහ 19 වන ගල් අඟුරු නෞකාවල ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු හෙට දිනයේදී ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව අදාළ නෞකා තුනෙන් පමණක් දිවයිනට රැගෙනවිත් ඇති ගල් අඟුරු තොගය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 80,000 ක්.
ඊට අමතරව තවත් ගල් අඟුරු නෞකා 03 ක් මේ වනවිට දිවයින බලා යාත‍්‍රා කරමින් පවතින බවයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර කියා සිටියේ.
ඒ අනුව, නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු සංචිත පවතින බවයි ලංකා ගල් අඟුරු සමාගම පවසන්නේ. සාමාන්‍යයෙන් බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන්නේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 7500 ක්.
ගල් අඟුරු නෞකා 30 ක් දිවයිනට රැගෙන ඒම ලංකා ගල් අඟුරු සමාගමේ අපේක්ෂාවයි. කෙසේ වෙතත්, පසුගිය සමයේ සිදුකෙරුණු විදුලි කප්පාදුවත් සමඟ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කෙරුණු ගල් අඟුරු නෞකා ප‍්‍රමාණය පහත වැටී ඇති අතර, මේ වනවිට වසරේ ඉතිරි කාලය සඳහා විදුලි ජනනය සඳහා ගල් අඟුරු නෞකා 27 ත්, 28 ත් අතර සංඛ්‍යාවක් ප‍්‍රමාණවත් වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.