
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක‍්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දුන්නා.
ඒ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න සහ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුලූ පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළවයි.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහබැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලූ පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයන්ට පණවා තිබූ විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය පසුගිය ඔක්තෝම්බර් මස 07 වනදායින් පසුව දීර්ඝ නොකළ බව පෙන්වා දුන්නා.
මේ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන් දෙදෙනාට නිකුත් කළ විදේශ ගමන් තහනම තවදුරටත් ක‍්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළා.
මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ තීරණය කළ අතර, විගණකාධිපතිවරයාට දැනුම් දුන්නේ විගණනයක් සිදුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.