
අද ලෝක වනාන්තර දිනයයි. පෘථිවියේ පෙනහළු ලෙසට හඳුනාගත් සොබාදහමේ අපූරුතම දායාදයක් වශයෙන් මානවයාට තිළිණ කළ වනාන්තර විශිෂ්ට ගණයේ ස්වාභාවික සම්පතකි.
ඒ වටිනා වූ සම්පත රැක ගැනීම පිණිස සියලු ආකාරයේ වනාන්තරවල වැදගත්කම සැමරීම සහ දැනුවත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වසරේ මාර්තු 21 වන දින ලෝක වනාන්තර දිනය ප්‍රකාශයට පත් කළ අතර 2013 වසරේ දී ප්‍රථම වරට ගෝලීයව මෙම දිනය සමරන ලදී. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වනාන්තර ආශ්‍රිත ධනාත්මක තත්ත්වයන් දිරිමත් කිරීම මෙහි අරමුණයි. මේ සඳහා වනාන්තර පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංසදය හා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය මූලිකත්වය ගෙන තිබේ.
දරිද්‍රතාව පිටුදැකීමේ හා තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී වනාන්තර විසින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
මිල කළ නොහැකි පාරිසරික , ආර්ථික , සමාජීය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ තිබියදීත් වර්තමානයේ පෙර නොවූ විරූ ලෙස වන විනාශය හේතුවෙන් වනාන්තර වඳ විමේ තර්ජනයන්ට ලක්ව ඇත.
ලෝකයේ වනාන්තර හෙක්ටයාර මිලියන 10 ක් සෑම වසරක ම වන විනාශය මත ලෝකයට අහිමි වීම අතිශය කණගාටුදායක තත්ත්වයකි.
වනාන්තර විසින් ඉටු කරන කාර්‍යභාරයන් සුළුපටු නොවේ. වනාන්තර වාතය පිරිසිදු කරයි. ජලය පිරිසිදු කරයි. පස පෝෂණය කරයි. දේශගුණය ස්ථාවර කර ගෝලීය උණුසුම වැළැක්වීමේ ප්‍රබල කාර්‍යභාරයක් ඉටු කරමින් දේශගුණික විපර්යාස වලට එරෙහිව සටන් කරනු ලබයි. මිලියන ගණනකට නිවහනක් වන්නා වූ වනාන්තර පෝෂණ සඳහා ආහාර ද සපයමින් සමස්තයක් ලෙස අපගේ යහපැවැත්ම වැඩි දියුණු කරයි.
” වනාන්තර හා සෞඛ්‍යය” 2023 වර්ෂයේ ජාත්‍යන්තර වනාන්තර දිනයේ තේමාව බවට පත්ව ඇති අතර වනාන්තර අපගේ සෞඛ්‍යයට බොහෝ දේ ලබා දෙමින් සෞඛ්‍ය සම්පන්න වනාන්තර, සෞබ්‍ය සම්පන්න මිනිසුන් බිහි කරන අතර වනාන්තර පරිසරයක් නැරඹීම රුධිර පීඩනය හා ස්පන්දන වේගය අඩු කරන බවට පර්‍යේෂණ මඟින් සනාථ වී ඇත්තේ ය.
මානව සෞඛ්‍යය සම්බන්ධ සමහර බලපෑම් අවම කිරීමට, ආතතිය අඩු කරමින් ධනාත්මක මනෝ භාවයන් හා මානසික සමාජ සංවර්ධනයක් සඳහා උපකාරී වන්නා වූ වනාන්තර වර්තමාන , අනාගත පරම්පරාවේ සමෘද්ධිය සහ යහපැවැත්ම ට දායක වේ.
වනාන්තර සංරක්ෂණය සහ තිරසර ලෙස භාවිතා කිරීම අප හා පෘථිවිය ආරක්ෂා කිරීමේ හොඳම ක්‍රමයක් වන අතර අනාගතයේ තීරණාත්මක සාධකයක් වන පෘථිවියේ පෙනහළු බඳු වනාන්තර ආරක්ෂා කිරීම අප සතු වගකීමක් ය.