
රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 179 ක් සමඟ දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගෙන ගාලූ වරායට රැගෙන ආ යාත‍්‍රාවේ සිටි සැකකරුවන් හයදෙනා දින හතක් රඳවාගෙන ප‍්‍රශ්න කිරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
ඒ, සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 15 වනදා දකුණු මුහුදු තීරයේදී මෙම යාත‍්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබුවේ සැකකරුවන් හයදෙනෙකු සමගයි. ඒ, නාවික හමුදාව, පොලිසිය සහ අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදියි.
අදාළ යාත‍්‍රාව පරීක්ෂා කිරීමේදී පාර්සල් විශාල ප‍්‍රමාණයක් අඩංගු පොලිසැක් උර අටක් සහ සැටලයිට් වර්ගයේ දුරකථනයක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් භාරයට ගෙන තිබුණා.
ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, නඩු භාණ්ඩ සහ සැකකරුවන් පෙරේදා ගාලූ වරායට රැගෙන එනු ලැබුවා.
එහිදී හෙරොයින් කිලෝ 179 යි ග‍්‍රෑම් 654 ක් සොයාගත් අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් නාකුළුගමුව, නෙටොල්පිටිය සහ ත‍්‍රිකුණාමලය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ. ඔවුන් අවුරුදු 32, 34, 35 සහ 41 යන වයස්වල පසුවනවා.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශ රටක සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, ජාවාරම මෙහෙයවනු ලබන විදේශයක සිටින සැකකරු සහ මෙරට සිටින මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.