
අහුන්ගල්ල – මිද්දරමුල්ල ප‍්‍රදේශයේ පසුගියදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පරීක්ෂණවලට අදාළව කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි සෙබළුන් 36 දෙනෙකුට අයත් ටී-56 ගිනි අවි පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ විමර්ශනවලට සහය දක්වන පොලිස් නිල සුනඛයෙකු අදාළ කඳවුර තුළට ඇතුළුවීම හේතුවෙන් ඇතිවූ සැකය මත මෙලෙස මෙම ගිනි අවි පොලිස් භාරයට ගත් බවයි.
එමෙන්ම ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියද යුද හමුදා බුද්ධි ඒකකය අසළ කුරුඳු ඉඩමක දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබුණා. පසුවයි නිල සුනඛයන් යොදවා පරීක්ෂණ සිදුකරනු ලැබුවේ.
එම අවස්ථාවේ නිල සුනඛයා දෙවරක්ම කඳවුර තුළට ගොස් ඇති අතර, ඒ අනුවයි විමර්ශන කටයුතු පුළුල් කර ඇත්තේ.
මේ අතර එම ගිනි අවි ඉදිරියේදී රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 29 හැවිරිදි බහුදින ධීවර යාත‍්‍රා මුරකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු සිය සොහොයුරියගේ දරුවන් දෙදෙනා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදියි මෙම වෙඩි ප‍්‍රහාරයට ලක්වුණේ. එහිදී තුවාල ලැබූ දරුවන් දෙදෙනාද බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.