
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවල අඩංගු යෝජනා හා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට කිසිදු උනන්දුවක් නොමැති බව පෙනී යන්නේ යැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරයේ සිව් වර්ෂ පූර්ණ දිව්‍ය පූජාවට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේදී අද පෙරවරුවේ එක්වෙමින්.
2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදට වසර 04 ක් සපිරෙනවා. මෙම ප‍්‍රහාරයෙන් 250 කට අධික පිරිසක් මියගිය අතර, තවත් විශාල පිරිසක් පූර්ණ කාලීන ආබාධිතයන් බවට පත්වුණා.
සිව්වර්ෂ පූර්ණයට සමගාමීව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේදී ඊයේ පස්වරුවේ දිව්‍ය පූජාව පැවැත්වීමෙන් අනතුරුව රාත‍්‍රි 07 ට යැදුම් පාගමනක්ද ආරම්භ කරනු ලැබුවා.
එය අද උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය වෙත ළඟා වූ අතර එහිදී මඟ දෙපස සිටි ජනතාව විසින් පාගමනට එක්ව සිටි පිරිස්වලට ආහාරපානවලින් සංග‍්‍රහ කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම, පාස්කු ප‍්‍රහාරයේ අඳුරු මතකයන් සිහි ගන්වමින් සහ මියගිය පිරිස් සිහිකරමින් දිවයින පුරා දේවස්ථානවල ආගමික වැඩසටහන් සංවිධාන කර තිබුණා. දේවස්ථාන ඉදිරිපිට පැවති නිහඬ විරෝධතාවන්ටද එක්වූ කිතුනු ජනතාව සුසානභූමිවල පුෂ්පෝපහාර සහ පහන් දල්වමින් මියගිය පිරිස් සිහිකිරීම් කරමින් යාඥාවන් පැවැත්වුවා.
පෙරවරු 8.45 ට ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය සියලූ දෙනා සිහිකරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවක් පැවත්වනු ලැබුවා. එමෙන්ම දිවයිනේ සියලූ ප‍්‍රදේශවල කිතුණු ජනතාව දේවස්ථානවලට එක්රැස්වී එම වේලාවට සීනු නාදකරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවය රකිමින් දේව මෙහෙයන්ට සහභාගි වී සිටි බවයි වාර්තා වන්නේ.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරු 10 ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී දිව්‍ය පූජාව ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. ඊට සර්ව ආගමික නායකයින් මෙන්ම ශ‍්‍රී ලංකාවේ වතිකානු තානාපති අති උතුම් බ‍්‍රයන් උඩයිග්වේ හිමිපාණන් මෙන්ම තවත් තානාපතිවරුන් පිරිසක්ද එක්ව සිටියා