
වසර 14 කට පසු මැලේරියා රෝගි මරණයක් මෙරටින් වාර්තා වී තිබෙනවා. පසුගිය 15 වනදා මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල – චීන කොටුව ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙක්.
මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහු ටැන්සානියාවට ගොස් පසුගිය 10 වනදා යළි දිවයිනට පැමිණ තිබෙනවා. පසුගිය 14 වනදා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ඇත්තේ උණ රෝගය උත්සන්න වීම හේතුවෙන්.
කෙසේ වෙතත්, රෝහල් ගත වූ දිනට පසුදින එනම් 15 වනදා එම ව්‍යාපාරිකයා මියගොස් තිබෙනවා.
එහි සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයාට මැලේරියාව වැළඳී ඇති බවයි.
දිවයිනට පැමිණ සති දෙකක පමණ කාලයක් නිවසේ සිට ඇති අතර එම තත්ත්වය හමුවේ ඔහුගේ නිවැසියන්ට සහ ප‍්‍රදේශවාසින්ටද රෝගය වැළදී ඇත්ද යන්න සොයාබලන බවයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල සඳහන් කළේ.
2009 වසරෙන් පසු මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී නොමැති අතර 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ප‍්‍රකාශයට පත්කළා.
කෙසේ වෙතත්, විදේශගතව පැමිණෙන පුද්ගලයන් අතර ඇතැම් අවස්ථාවල මැලේරියා රෝගය වාර්තා වූවද මැලේරියා මරණයක් වාර්තා වූයේ වසර 14 කට පසුවයි.