
පාකිස්තානයේ කරච්චි සත්වෝද්‍යානයේ සිටි නූර් ජෙහාන් නම් අප‍්‍රිකානු ඇතාගේ මරණයෙන් පසු ශ‍්‍රී ලංකාවේ අලි දෙදෙනෙකු එරටට ලබාදීමට එකඟවූ බව පාකිස්තානයේ නිර්වේතනික කොන්සල් ජනරාල් යසින් ජොයියා තහවුරු කළා. ජියෝ පුවත් සේවයට ඔහු මේ බව ඊයේ සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එම අලි ලබාගැනීම සඳහා වන නිල ඉල්ලීමක් ශ‍්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති බවද ඔහු එම පුවත් සේවයට ප‍්‍රකාශ කර තිබෙනවා.
17 හැවිරිදි නූර් ජෙහාන් නම් අප‍්‍රිකානු ඇතා කරච්චි සත්වෝද්‍යානයේදී පසුගියදා අවාසනාවන්ත ලෙස රෝගාතුර වී ඇති අතර, පොකුණකට ඇද වැටී අසාධ්‍ය තත්වයට පත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දින 9 ක කාලයක් එම හස්තියා ජීවිතයත් සමඟ සටන් කර පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්ව තිබුණා. ජාත්‍යන්තර සත්ව සුබසාධන සංවිධානයක් චෝදනා කර ඇත්තේ කරච්චි සත්වෝද්‍යානයේදී එම හස්තියාට නිසි ප‍්‍රතිකාර සහ රැකවරණය ලැබී නොමැති බවටයි.
එවන් පසුබිමකයි මෙරට අලින් දෙදෙනෙකු කරච්චි සත්වෝද්‍යානයට සහ ලාහෝර් සත්වෝද්‍යානයට ලබාදීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් එකඟතාව පළ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ප‍්‍රකාශිකාවක සඳහන් කළේ කඩිනමින් ඒ පිළිබඳ ප‍්‍රකාශයක් ලබාදෙන බවයි.