
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 63 දෙනෙකුට ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් රෝහලේ ප‍්‍රතිකාර සේවා පවත්වාගෙන යාම ගැටළුකාරි වී ඇති බව එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.
වෛද්‍යවරුන් කිහිපදෙනෙකු මෙන්ම, හෙදියන්, උපස්ථායකයන්, කම්කරුවන් ඇතුළු රෝහලේ සෑම විවිධ අංශවල සේවකයින්ට ඩෙංගු රෝගය වැළදී ඇති බවයි වාර්තා වන්නේ. රෝහලේ මේ වන විට 550 ට වැඩි පිරිසක් සේවය කරනවා
මේ පිළිබඳව අප දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහු තම දුරකතනයට ප‍්‍රතිචාර දැක්වුයේ නැහැ.
පසුව දඹුල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සමිත කන්නන්ගරගෙන් අප මේ පීළිබද විමසිමක් කළ අතර ඔහු කියාසිටියේ රෝහලේ බලධාරීන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවයි. ඒ අනුව රෝහල් පරිශ‍්‍රය මෙන්ම අවට ප‍්‍රදේශයද පිරිසිදු කිරීමට පියවර ගත් බව ඔහු ප‍්‍රකාශ කළා.
මේ වනවිට බස්නිහිර පලාත කේන්ද්‍රකර ගනිමින් ඩෙංගු මර්ධන සතියක් ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමෙන්ම දිවයිනේ මේ වනවිට ඩෙංගු රෝගීන් විසිඅට දහසක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
මේ අතර, වසර ආරම්භයේ සිට මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ වැළඳීමෙන් මරණ 19 ක් වාර්තා වන බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි පවසනවා.
ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අනුකමිටුව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මීට පෙර වසරවළට සාපේක්ෂව එම මරණ සංඛ්‍යාව ඉහළ අගයක් බවයි.
මේ අතර, ඖෂධ හිඟය හේතුවෙන් තමන්ට අපහසුතා රැසකට මුහුණදීමට සිදුවන බවට හම්බන්තොට රෝහලට පැමිණෙන රෝගීන් චෝදනා කරනවා.