
මෙරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සිය මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභියෝග බිඳ අභිලාෂය ජයගනිමු තේමාවෙන් මෙවර මැයි දින රැලිය පවත්වන්නේ බොරැල්ල කැම්බල් පිටියේදියි.
වැඩකරන ජනතාවගේ අරගලය යන තේමාවෙන් සමගි ජන බලවේගය මැයි දින රැලිය කොළඹ – ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදියි.
රට විකුණන ජන පීඩක දූෂිත පාලනය පරදවමු – ජනතාවාදී පාලනයක් ගොඩනගමු යන්න තේමා කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ විහාර මහාදේවී උද්‍යානය අසළදීයි. ඔවුන් එම ස්ථානයට පෙළපාලියකින් පැමිණීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දින රැලිය මහනුවර පොදු වෙළඳපොල ඉදිරිපිටදී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය නුගේගොඩදී පැවැත්වීම සඳහා කටයුතු සංවිධාන කර තිබෙනවා. එහි තේමාව වන්නේ අයි.එම්.එෆ්. උගුලට ඇමරිකානු -ඉන්දියානු කරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක් යන්නයි.
මේ අතර මැයි රැළි පැවැත්වෙන හෙට දිනයේ විශේෂ රථවාහන සැළැස්මක් ක‍්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.