
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය හෙවත් ඔටුනු පැළදීමේ මංගල්‍යය වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අද පැවැත්වුණා. ඒ දෙස් විදෙස් ආරාධිතයන් 2000 කගේ පමණ සහභාගිත්වයෙන්.
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සමග රජ මෙහෙසිය කැමිලා ද මෙහිදී ඔටුනු පළඳිනු ලැබුවා. රාජාභිෂේක උත්සවය පැවති වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත චාල්ස් රජු සහ කැමිලා බිසව බකිංහැම් මාලිගයේ සිට පැමිණියේ විශේෂ රාජකීය පෙරහරකින්.
රජු සහ රැජින එම රාජකීය පෙරහරේ පැමිණීමට යොදා ගෙන තිබුණේ දෙවන එලිසබෙත් රැජින විසින් භාවිත කළ රැජිනගේ දියමන්ති ජුබිලි අශ්ව කරත්තයයි.
එය රැජිනගේ 80 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් නිර්මාණය කෙරුණ ද 80 වැනි ඡන්ම දිනයට පෙර එය නිමවා අවසන් කිරීමට නොහැකිවීම හේතුවෙන් රැජිනට එය පිළිගන්වනු ලැබුවේ වසර 8ක් ප‍්‍රමාද වී රැජිනගේ දියමන්ති ජුබිලි සැමරුමේදීයි.
වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත පැමිණෙන මග දෙපස රැස්වූ විශාල ජනකායක් චාල්ස් රජු සහ කැමිලා බිසවට සුබ පැතුම් එක් කළා.