
දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන රාත‍්‍රි තැපැල් දුම්රිය ඇතුළුව දුම්රිය ගමන් වාර 11 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ සහ ත‍්‍රිකුණාමලය, මඩකලපුව අතර ධාවනය වන රාත‍්‍රි තැපැල් දුම්රිය මෙන්ම මඩකලපුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ‍්‍රගාමි දුම්රියද අද අවලංගු කෙරෙනු ඇති.
කෙසේ වෙතත් අනුරාධපුර බලා ධාවනය වන තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පුත්තලම බලා ධාවනය වන කාර්යාල දුම්රියද අවලංගු වන බවයි.
ඒ අනුව අද දිනයේ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22 ක් අවලංගු වී තිබෙනවා.
කෙසේ වෙතත් අද දිනයේ යහපත් ධාවන තත්ත්වයක් දක්නට ලැබුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.
කාර්යාල දුම්රිය ධාවනය සඳහා ප‍්‍රමුඛතාව ලබාදී ඇති අතර ඒ වෙනුවෙන් තැපැල් දුම්රිය කිහිපයක් අවලංගු කළ බව එහි අතිරේක සාමාන්‍යාධිකාරි මෙහෙයුම් වී.එස්. පොල්වත්තගේ සඳහන් කළා.
මේ අතර, මඩකලපුවෙන් පිටත්වූ දුම්රිය මගීන්ගෙන් කුරුණෑගල දුම්රිය ස්ථානයේදී ප‍්‍රවේශපත් නොමැතිව ගමන්කිරීම නිසා දඩ අයකරගැනීමක් සිදුව ඇති බවට පළවන ප‍්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවද ඔහු කියා සිටියා.
අද දිනයේදී කාර්යාල දුම්රිය 05 ක් පමණක් ධාවනය නොවුණු අතර කාර්යාල දුම්රිය ගමන්වාර 55 ක් පමණක් ධාවනය වී තිබුණා.
මේ අතර, අද මාධ්‍යම රාත‍්‍රියෙන් පසු සිය සංකේත වැඩවර්ජනය අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.