
මන්නාරම දිස්ත‍්‍රික්කයේ පාසල් දරුවන් කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමේ උත්සාහයක් ඇති බවට ලද තොරතුරකට අනුව පාසල් අසළ සහ ඒ අවට මාර්ගවල විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
වෑන් රථයකින් පැමිණි පිරිසක් පාසල් ළමයින් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී ඔවුන් පැහැර ගැනීමට උත්සහ දරා ඇති බවටයි පොලිසියට වාර්තා වී ඇත්තේ.
එහිදී ළමයින් දෙදෙනා කෑගැසීමත් සමඟ අදාළ වෑන් රථයේ සිටි පිරිස් පළාගොස් තිබෙනවා.
එම සිදුවීම දෙමාපියන් විසින් මන්නාරම පොලිස් ස්ථානයට සහ පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව පොලිසිය විසින් පාසල් ළමයින්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
වෑන් රථයෙන් පැමිණි පිරිස් පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණ වී නැහැ.
මේ අතර මන්නාරම දිස්ත‍්‍රික්කයේ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පාසල් ළමයින් පැහැර ගැනීමට තැත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දක්වන කරුණු පිළිබඳවත් පොලිසියෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.