
කළුතර පස් මහල් ලැඟුම්හල් ගොඩනැගිල්ලෙන් ඇඳවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් එහි පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කළ එම හෝටලයේ හිමිකරුගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය හමුවට ඇය අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ජාතික හැදුනුම්පත නිසි අවධානයකින් පරීක්ෂා නොකර බාල වයස්කාර දැරියකට හෝටලයේ නවාතැන් පහසුකම් ලබාදීම ඇයට එල්ලවී ඇති චෝදනාව බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ.
එමෙන්ම, හෝටලය පවත්වාගෙන යන ඇයගේ සැමියාගෙන්ද ප‍්‍රකාශයක් ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ. 16 හැවිරිදි සිසුවියගේ මරණයට අදාළව මේ වන විට ප‍්‍රධාන සැකකරු , ඇගේ මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන සිටිනවා.
එහිදී මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ප‍්‍රධාන සැකකරුට පැය 48 ක රැඳවුම් නියෝග ලබාදීමටයි අධිකරණය නියෝග කළේ.
මේ අතර, කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියට සම්බන්ධ ලැඟුම්හල නියමිත ප‍්‍රමිතියට ඉදිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා නාගරික සංවර්ධන අධිකාරියද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.