
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයෙකුට සහ ඔහුගේ මවට පහරදුන් සිද්ධියකට අදාළව මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරනවා.
බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ ඊයේ අලූයම හිස් ආවරණ සහිතව පැමිණි නාඳුනන
පුද්ගලයන් 3 දෙනෙකු ඔහුගේ මිනුවන්ගොඩ නිවසේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.
නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ගිනි අවි එල්ල කර මරණ තර්ජන සිදුකර බන්ධනාගාර නියාමකවරයාට සහ මවට පහරදී සොහොයුරියගේ ජංගම දුරකථනය ද ඔවුන් පොළොවේ ගසා තිබුණා.
එසේම, බන්ධනාගාර නිලධාරියා දණ ගස්වා මාංචු දමා එහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද ලබාගෙනයි සැකකරුවන් පලාගොස් ඇත්තේ.
පහරදෙන අවස්ථාවේදී බන්ධනාගාරය තුල හෙරොයින් නැවැත්වීමට උත්සාහ නොකර වෙන දෙයක් බලා රැකියාව සිදුකර ගන්නා ලෙසට ද ඔවුන් බන්ධනාගාර නියාමකවරයාට තර්ජනය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම, ‘‘රටේ කුඩු නවත්වන්න බැරි එකේ බන්ධනාගාරය තුල හෙරොයින් නැවැත්වීමට උඹ මොන මිනිහෙක් දැයි’’ ඔවුන් තර්ජනාත්මකව ප‍්‍රකාශ කර ඇති බව ද සඳහන්.