
මුලතිව් – පුදුකුඩිඉරිප්පු – කයිවෙලි ප‍්‍රදේශයේදී දස හැවිරිදි පාසල් දැරියක් පැහැර ගැනීමට උත්සාහ කළ කණ්ඩායමක එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ දැරිය සිය මව සමග උපකාරක පන්තියකට පැමිණ ඇති අවස්ථාවේදී පිරිසක් විසින් පැමිණ ඇයගේ මුහුණට යම් දියරයක් ඉස ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම අවස්ථාවේදී දැරිය සිහිසුන්ව ඇද වැටී ඇති අතර එය දුටු ප‍්‍රදේශවාසීන් විසින් අදාළ පිරිසෙන් එක් සැකකරුවෙකු අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි මුලතිව් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. දැරිය පැහැර ගැනීමට උත්සාහ කළ අනෙක් පිරිස සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර, නෙලූව – දෙල්ලව ප‍්‍රදේශයේ සහෝදරයන් 4 දෙනෙකු සිය මව සමග ඇති වූ අමනාපයක් හේතුවෙන් නිවසින් පිටවී ප‍්‍රදේශයේ වෙනත් නිවසකට ගොස් සිටීමේ පුවතක් වාර්තා වනවා.
අදාළ දරුවන්ගේ මව විසින් ඔවුන් නිවසේ සිට නොමැති බවට 119 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඇති අතර ඒ අනුවයි, නෙලූව පොලීසිය විසින් දරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ.
එමෙන්ම, දරුවන් පිරිස අතර වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු ද සිටින බව පොලීසිය සඳහන් කළා.
සිය මව සමග ඇති වූ අමනාපයක් හේතුවෙන් එම ප‍්‍රදේශයේම අසල නිවසකට ගොස් රැදී සිටියදී එම දරුවන් හතර දෙනා පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර නැවත ඔවුන් මව්පියන් වෙත භාරදී තිබෙනවා.