
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත වුණා. අදාළ යෝජනාවට පක්ෂව ඡුන්ද 123 ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 77 ක් ලැබී තිබුණා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත‍්‍රීවරුන්ද යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.
සමගි ජනබලවේගය යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතකළ අතර එම පක්ෂයේ වඩිවේල් සුරේෂ් මන්ත‍්‍රීවරයා මෙන්ම ඒ.එච්.එම් ෆවුසි මන්ත‍්‍රීවරයා යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයක්.
උත්තර ලංකා සභාගය මෙන්ම නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ද ඊට විපක්ෂව ඡුන්දය ලබාදීමටයි කටයුතු කළේ. ජාතික ජනබලවේගය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ද ඡන්දය ලබාදුන්නේ යෝජනාවට එරෙහිවයි.
එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළත් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මෙන්ම නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නා.
එසේම නීතිවිරෝධි ලෙස රත‍්‍රං සහ ජංගම දුරකථන තොගයක් දිවයිනට රැගෙන පැමිණි අලි සබි‍්‍ර රහීම් මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණි සිටි අතර ඔහු යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළා.
අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවට පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර වෙත දැනුම් දීමෙන් පසුවයි සභාපතිවරයා ඉවත් කරනු ඇත්තේ.