
ඉන්ධන හිගයක් පිළිබද බියක් ඇතිකර නොගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවට දැනුම් දෙනවා.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සතුව ප‍්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ.
මේ වනවිට පවතින්නේ ඉන්ධන මිලෙහි අඩුවීමක් අපේක්ෂාවෙන් පිරවුම්හල්හිමියන් විසින් ඇණවුම් ලබානොදීම නිසා ඇතිවූ හිගයක් බවද අමාත්‍යවරයා එහි දක්වා තිබෙනවා.
අලෙවි නියෝජිතයන් විසින් සියයට 50 ක අවම සංචිතයක් පවත්වාගැනීම අවශ්‍ය වන අතර එලෙස අවම තොග පවත්වාගෙන නොගිය පිරවුම්හල්වල බලපත‍්‍ර අත්හිටුවීමට සහ නැවත සමාලෝචනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දුන් බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර, ඉන්ධන කෝටාව ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩුකිරීම සැළකිල්ලට ගෙන කොළඹ දිස්ත‍්‍රික්කයේ පමණක් දෙවන කිලෝ මීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 80 දක්වා අඩු කරන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම ගාස්තු සංශෝධනය හෙට සිට ක‍්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත්, ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා සහ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිති සම්මේලයේ සභාපති ලලිත් ධර්මසේකර සදහන් කළේ ත‍්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.
එමෙන්ම ලබන මාසයේදී සිදුකරනු ලබන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊයේ සිදුකළ මිල සංශෝධනයට අනුව බස් ගාස්තු අඩුකළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.