/
/
title icon
“SL Vlog” බෲනෝ රිමාන්ඩ්
“SL Vlog” බෲනෝ රිමාන්ඩ්
Editor
1 year ago
Share:
“SL Vlog” බෲනෝ රිමාන්ඩ්

බුදුදහමට අපහාසාත්මක ප‍්‍රකාශයක් සිදුකළ බව කියන ජයනි නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එම ප‍්‍රකාශය සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් යූටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ මහේස්ත‍්‍රාත්වරයා සැකකරු මෙම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ කෙසේදැයි පොලිසියෙන් ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කළේ බුදුදහමට සහ සිදුහත් කුමරුට අපහාසාත්මක වන ආකාරයේ ප‍්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරියට එම ප‍්‍රකාශය සිදු කිරීම සඳහා මෙම සැකකරු ආධාර අනුබල දී ඇති බවයි.

ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සැකකරු වරදක් සිදුකර ඇති බවත් විමර්ශන කටයුතු මූලික අවධියේ පවතින බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මහේස්ත‍්‍රාත්වරයා, යළි විමසා සිටියේ මෙම සැකකරු ඊට ආධාර අනුබල දීමක් සිදුකළ බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් වී ඇත්ද යන්නයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී පෙන්වා දුන්නේ නතාෂා එදිරිසූරියට එම ප‍්‍රකාශය සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම, මහජනතාව රැස්කිරීම, වේදිකාව සකසාදීම සැකකරු විසින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

අපහාසාත්මක ප‍්‍රකාශ අඩංගු වීඩියෝ පටය මෙම සැකකරුට අයත් යූ ටියුබ් නාලිකාවට එක්කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

යම් ප‍්‍රකාශයක් අන්තර්ජාලයට එක්කළ පමණින් ඔහු අපරාධයකට ආධාර අනුබල දීම සිදුකළ බවට චෝදනා කරන්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කළ සැකකරුගේ නීතිඥවරයා දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 වන වගන්තිය යටතේ තම සේවාදායකයාට එල්ල කර ඇති චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවටයි තර්ක කළේ.

එමෙන්ම මෙම නඩුවට පාදක වන ප‍්‍රකාශය තුළින් රජය අපහසුතාවයකට පත් වීමක් සිදු නොවන බවත් එය පදනම් විරහිත බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ තුනේ දෙක වගන්තිය ප‍්‍රකාරව යම් වරදකට ආධාර අනුබලදීම නැමැති චෝදනාව ඉදිරිපත් කළ නොහැකි බැවින් තම සේවාදායකයා ඇපමත මුදා හරින ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා සැකකරුගේ නීතිඥවරයා අමතමින් “ඕනෑම ප‍්‍රකාශයක් අන්තර්ජාලයට එක්කළ හැකි නමුත් ඉන් ප‍්‍රශ්නයක් මතුවන බවට කලින් පෙනී යන්නේ නම් එය සිදු නොකර සිටිය හැකි බවයි” සඳහන් කළේ.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා සැකකාර බෲනෝ දිවාකර ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදිනට විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required