
ඉන්ධන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ශ‍්‍රී ලංකා රජය ආර්.එම්. පාක් සමාගම සහ ෂෙල් සමාගම සමඟ දිගු කාලීන ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අද ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ සහ ආර්.එම්. පාක් සමාගමේ උපසභාපති ජස්ටියන් ඩිවිස් ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත එම ගිවිසුමට එළැඹ ඇති බව සඳහන්.
එම ගිවිසුම අනුව ඇමරිකානු බලශක්ති සමාගමක් වන ආර්.එම්. පාක් සමාගමට, ෂෙල් සමාගම සමඟ එක්ව ඉදිරි වසර 20 ක කාලයක් සඳහා ඉන්ධන ආනයනය කිරීමට, බෙදාහැරීමට සහ අලෙවිකිරීමට අවසර හිමිවනවා. බලපත‍්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාක් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45 ක් ඇතුළත මෙරට තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
එමෙන්ම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ගිවිසුම් ගතවී ඇති ඉන්ධන පිරවුම්හල් 150 ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් ස්ථානපනය කිරීමේ අවසරයද ඔවුන්ට එමගින් හිමිවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.
මේ අතර ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිලධාරින් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප‍්‍රගති සමාලෝචන රැුස්වීමක් පවත්වා තිබෙනවා. පසුගිය සතියේ අවම තොග පවත්වාගෙන ගොස් ඇත්තේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් 1050 න් 432 ක පමණක් බව එහිදී අනාවරණ වූ අතර අලෙවි නියෝජිතයන් 225 දෙනෙකුද අවම තොග පවත්වාගෙන නොගිය බවයි එහිදී හෙළිව ඇත්තේ.