
දින කිහිපයකට පෙර මියගිය බවට සැක කෙරෙන තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍යවරයෙකුගේ සිරුරක් ඔහුගේ නිල නිවසේ තිබී සොයාගෙන තිබෙනවා. 35 හැවිරිදි මොහු අද දිනයේදී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහලේ සුළු සේවකයෙකු විසින් වෛද්‍යවරයාගේ නිල නිවසට ගොස් සිදුකළ සොයා බැලීමකදී සිරුර සොයාගත් බව තඹුත්තේගම පොලිසිය සඳහන් කළා.
එක්දරු පියෙකු වන ඔහු තඹුත්තේගම මූලික රෝහලේ රුධිර කාන්දුකරණ අංශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති අතර, බිරිඳ වෙනත් රෝහලක දන්ත වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා.
කෙසේ වෙතත් ඖෂධ අධි මාත්‍රාවක් ශරීර ගත කරගැනීමෙන් ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටත් සෙනසුරාදා හෝ ඉරිදා දිනයේදී එය සිදුව ඇති බවටත් පොලිසිය සැක පළ කරනවා. සිරුරේ ඇස්, අත් පා, ඇඟිලි තුඩු දැඩි කළු පැහැයක් ගෙන ඇති අතර, ඖෂධ වර්ග කිහිපයක්ද වෛද්‍යවරයාගේ සිරුර ආසන්නයේ තිබී සොයාගෙන තිබුණා. එමෙන්ම ක්‍රියා විරහිත කර තිබූ ඔහුගේ ජංගම දුරකථනය සහ පෑනක්ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා පැමිණ අද පස්වරුවේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා.