
සබරගමුව පළාතේ අධ්‍යාපනය නගා සිටුවීම තම අපේක්ෂාව බව එහි නව ආණ්ඩුකාරවරයා ලෙස අද පත්වූ හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. ඉදිරි මහ මැතිවරණයට නියත වශයෙන්ම තරග කරන බවයි අද දහවල් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු ප‍්‍රකාශ කළේ.
මීට පෙර සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක අද එම තනතුරට පත්කරනු ලැබුවේ.
නව තනතුරේ දිවුරුම් දීමෙන් පසු අද පස්වරුවේ ඔහු හුණුපිටිය – ගංඟාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වලද නිරතවුණා.
පසුගියදා උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා ද නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණා. ඒ අනුව වයඹ පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධනද, උතුර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් ද පත් කරනු ලැබුවා.