
ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පසුගියදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළ, ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව සැකසීමේදී වගකිව යුතු කිසිදු අංශයකින් විමසා නැතැයි ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී අනාවරණය වී තිබෙනවා.
ජනපති මාධ්‍ය අංශය පැවසුවේ, ආණ්ඩු පක්ෂය හරහා ඒ පිළිබද කතානායකවරයා දැනුවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තවදුරටත් පෞද්ගලීකකරණය කිරීමට නිර්දේශ නොකිරීමට ජාතික ආරක්ෂා පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් අද රැස් වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගෙන් විමසා තිබෙනවා.
එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, අදාළ තීරණය ගත් ජාතික ආරක්ෂාව පිළිබශ්‍ර ආංශික අධීක්ෂණ කාරක සභාවට ත‍්‍රිවිධ හමුදාවේ කිසිදු ප‍්‍රධානියෙකු සහභාගී වී නොමැති බවයි. එසේම ඊට අදාළව කාරක සභාව ජාතික ආරක්ෂාව පිළිබඳව වගකියන කිසිදු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඒ අනුව ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගෙන ඇති තීරණය පදනම් විරහිත බවට නිල වශයෙන් කතානායකවරයා දැනුවත් කිරීමටද තීරණය කර තිබෙනවා.
මේ අතර, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය පෙන්වා දෙන්නේ, විදේශීය සමාගමකට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමෙන් මෙරට ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වන බවයි.
කෙසේ වෙතත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව පවසන්නේ දත්ත පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව ආංශික අධීක්ෂණ කාරක සභාව මෙම වාර්තාව සකස් කර ඇති බවයි.