
නඩු කටයුත්තක් සඳහා අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඔහු මෙලෙස අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබුණේ 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳ ගොනු කර ඇති නඩුවට අදාළවයි.
මෙහිදී කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල් තැබීමට ද නියම කළා.
මෙම පැමිණිල්ල අද පෙරවරුවේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පළමුවන විත්තිකරු වන විමල් වීරවංශ මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායකද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.
කෙසේ වෙතත්, නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මොහොමඞ් මුසම්මිල්, ජයන්ත සමරවීර, මෙන්ම එවකට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.
මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කළේ මෙම නඩුව කැඳවන සෑම දිනයකම එක් එක් විත්තිකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා නඩුව විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි.
මෙලෙස අධිකරණයේ පෙනී සිටීම මග හැරියහොත් විත්තිකරුවන් සියලූ දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර නඩුව ඇසීමට සිදු වන බවත් මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා අනතුරු අඟවා සිටියා.
ඉන් අනතුරුව නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල් තැබීමටයි නියම කෙරුණේ.