
අත්ලාන්තික් සාගරේ පත්ලේදී අතුරුදන්ව ඇති ටයිටන් සබ්මැරීනයේ පවතින ඔක්සිජන් ප‍්‍රමාණය මේ වන විට අවසන්වී තිබෙනවා. ඇමරිකානු වෙරළාරක්ෂක නිලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ පැය 96 ක කාලයක් සඳහා පැවති ඔක්සිජන් මෙරට වේලාවෙන් අද පස්වරු 4 යි 38 ට පමණ අවසන් වූ බවයි.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය පස්දෙනෙකු රැගත් ටයිටන් සබ්මැරීනය සමඟ සබඳතා ගිලිහී තිබුණේ පසුගිය ඉරිදා දිනයේ සිටයි.
ටයිටන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ‘‘ද වික්ටර් සික්ස් තවුසන්ඩ්’’නම් ප‍්‍රංශ පර්යේෂණ කුඩා සබ්මැරීනයද අද එක්වූ අතර එහි සාගර පත්ල තාත්විකව නිරීක්ෂණය කිරීමේ තාක්ෂණික හැකියාවක් පවතින බව සඳහන්.
එම පර්යේෂණ සබ්මැරීනයට මුහුදු පත්ලේ ඡායාරූප ලබාගැනීමට මෙන්ම එහි ඇති යම් කිසි දෙයක් කැපීමට හෝ ඉවත් කිරීමේ ද හැකියාව පවතිනවා.
එසේම මුහුදු පත්ලේ වර්ග සැතපුම් 10,000 ක පරිදියක් ආවරණය වන ආකාරයට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ද ඊට පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම අත්ලාන්තික් සාගරය පිළිබඳ අතිශය පළපුරුද්දක් ඇති නාවික කණ්ඩායමක්ද එහි සිටින බව සඳහන්.
මේ අතර බ්‍රිතාන්‍යයේ ඇන්ටාක්ටික් පර්යේෂක ආචාර්ය රොබ් ලාටර් සඳහන් කර ඇත්තේ ටයිටන් සබ්මැරීනය සාගර පත්ලේ තිබියදී සොයාගතහොත් එහි සිටින්නන් මුදාගෙන මතුපිටට පැමිණීමට සාමාන්‍යයෙන් පැය 02 ක කාලයක් ගතවන බවයි.
අද දිනයේදීද සබ්මැරීනය අතුරුදන් වූ බවට පැවසෙන මුහුදු පත්ලෙන් යම් ශබ්දයක් නිකුත් වී ඇති බවටද වාර්තා පළවුණා.
රටවල් රැසකින් ටයිටන් සබ්මැරීනය මුදා ගැනීමේ මෙහෙයුම්වලට නෞකා, ගුවන් යානා, යොදවා ඇති බැවින් විටින් විට මුහුදු පත්ලෙන් නිකුත් වන ශබ්ද ටයිටන් සබ්මැරීනයේද නැතහොත් නිරීක්ෂණ යාත‍්‍රාවලින් නිකුත් වන ශබ්දයක් ද යන්න තවමත් නිශ්චය කරගෙන නැහැ.
සබ්මැරීනයේ ගමන්ගත් අය අතර බ්‍රිතාන්‍ය බිලියනපති ව්‍යාපාරිකයෙකු වන හේමිෂ් ගාඩින්ග්, සබ්මැරීනය අයත් ඕෂන් ගේට් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි පාකිස්ථාන ධන කුවේරයෙකු වන ෂෂාඩා ඩවුඩ් සහ ඔහුගේ පුත‍්‍රයාද වනවා.
එමෙන්ම සබ්මැරීනයේ මෙහෙයුම්කරු වන ප‍්‍රංශ ජාතික පෝල් ඔන්රි නාජුලේ සහ ඕෂන් ගේට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ්ද එහි ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
1912 වසරේදී ටයිටැනික් නෞකාව මුහුදුබත් වනවිට ඕෂන් ගේට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ස්ටොක්ටන් රෂ්ගේ බිරිද වන වෙන්ඩි රෂ්ගේ මුත්තනුවන් සහ මිත්තණිය ද එහි සිට ඇති අතර නෞකාව මුහුදුබත් වී සති දෙකකට පමණ පසු ඇයගේ මුත්තනුවන්ගේ සිරුර හමුවී තිබුණා. එහෙත් මිත්තණියගේ සිරුර සොයාගැනීමට හැකිවුණේ නැහැ.