
ඇඹිලිපිටිය – වැලිකඩයාය ප‍්‍රදේශයේදී ඝාතන සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියයාම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂ කාර්ය බලකායෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.
ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය – වැලිකඩයාය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අලූයම මෙහෙයුමක් සිදුකර තිබුණා. එම අවස්ථාවේදී සැකකරු විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට වෙඩි ප‍්‍රහාර තුනක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර තිබූ අතර, එහිදී 22 හැවිරිදි මොහු මියගොස් තිබුණා. ගණිඳු නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචි යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළෙක්. ඔහු සේවය අතහැර ගොස් සිටි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී නිහාල් හරිස්චන්ද්‍ර හෙවත් බාප්පා සහ විස්මින් ම¥ හෙවත් චප්පා නැමති දෙදෙනාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන මෙම පුද්ගලයා සහ ඊට අදාළ සැකකරුවන් පැමිණි මෝටර් රථය මෙන්ම, ඝාතනයට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ද කිඹුලාපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේම අදාළ වෙඩි තැබීම, දැනට ඩුබායි රාජ්‍යයේ සිටින වරුණ, රසල්, ප‍්‍රියන්ත යන අය විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය පසුව තොරතුරු අනාවරණ කරගත්තා. අද විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් මියගියේ මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයායි.
මේ අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධනුක සොයිසාට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු සමඟ ද අද මියගිය සැකකරු, සම්බන්ධවී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මිනුවන්්ගොඩ වෙඩි තැබීම සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබූ සැකකරු ද පැමිණ ඇති අතර, ඔහු එම අවස්ථාවේ මෝටර් රථය පදවා ඇති බවටද හෙළිවුණා.
අදාළ සැකකරුද කුලියාපිටිය ප‍්‍රදේශයේදී පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සමන් කුමාර ජයතිලක හෙවත් මාමා ලෙස හඳුන්වන ඔහු, මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප‍්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු ලෙස ද කටයුතු කර තිබුණා.
එමෙන්ම අද මියගිය ගණිඳු සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින මානික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න හෙවත් හීනටියන මහේෂ් මල්ලි යන අයගේ ප‍්‍රධාන ගෝලයා බවටයි හඳුනාගෙන ඇත්තේ.
මොහු පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වනදා කටුනායක ඇවරිවත්ත මහජන බැංකුව ඉදිරිපිටදී ධනුෂ්ක මධුෂාන් නවරත්න හෙවත් කාඞ්බෝඞ් සුරංග යන අයට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන වෙඩික්කරුද වනවා.