/
/
title icon
පුටින්ට අවුලක් – වැග්නර් කුලී හේවායින්ට දැඩි දඬුවම් දෙන බව පුටින් කියයි
පුටින්ට අවුලක් – වැග්නර් කුලී හේවායින්ට දැඩි දඬුවම් දෙන බව පුටින් කියයි
Editor
1 year ago
Share:
පුටින්ට අවුලක් – වැග්නර් කුලී හේවායින්ට දැඩි දඬුවම් දෙන බව පුටින් කියයි

කැරලිකාර වැග්නර් කුලී හේවා බලකාය රුසියාවේ තවත් නගරයක් අද පස්වරුව වනවිට අත්පත් කරගෙන ගත් අතර ඒ අනුව රුසියානු පාලනයේ පැවති නගර දෙකක් ඔවුන්ගේ ග‍්‍රහණයට නතුව තිබෙනවා.

වැග්නර් බලකාය විසින් රුසියානු පාලනය යටතේ පැවති නැගෙනහිර යුක්රේනයට මායිම්ව පිහිටි රොස්තොව් නගරය පළමුව අත්පත් කරගත් අතර අද පස්වරුවේ ඔවුන් වෙරොනිෂ් නගරයේ බලය ද අත්පත් කර ගත් බවයි ප‍්‍රකාශයට පත් කළේ.

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේදී රුසියාවට සහය ලබාදෙන කුලී හේවා බලකායක් ලෙසයි වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කරනු ලබන්නේ.

රුසියාවට සහය දැක්වීමට ඉදිරිපත් වූ වැග්නර් බලකායට අයත් ප‍්‍රදේශයකට රුසියානු හමුදාව විසින් ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් රුසියානු පාලන යටතේ පැවති ප‍්‍රදේශ ආක‍්‍රමණය ආරම්භ කළා.

මේ අතර, වැග්නර් කණ්ඩායමේ ප‍්‍රධානියා යොමුකළ ශ‍්‍රව්‍ය පණිවුඩයක් මගින් සඳහන් කර තිබුණේ රුසියානු හමුදා නායකත්වය පෙරලා දැමීමට තම කණ්ඩායම් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා තමන් හමුවීමට නොපැමිණියහොත් මොස්කව් අගනුවර දක්වාම පැමිණෙන බවට වැග්නර් ප‍්‍රධානියා තර්ජනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පවතින තත්ත්වය හමුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල නිවස පිහිටා ඇති මොස්කව්හි – ක්‍රෙම්ලිනය අවට ආරක්ෂාව දැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා. එමෙන්ම සියලූ මහජන රැස්වීම් සහ උත්සව ද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති අතර මොස්කව් නුවරට ප‍්‍රවේශ වන ප‍්‍රධාන පාලම වසා දැමීමටයි රුසියානු රජයේ හමුදා පියවර ගෙන ඇත්තේ.

මේ අතර, කැරලිකාර වැග්නර් කුලී හේවා බලකාය සිදුකරන කුමන්ත‍්‍රණය පාවාදීමක් සහ රාජ්‍ය ද්‍රෝහී ක‍්‍රියාවක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතමින් ප‍්‍රකාශ කර තිබෙනවා.

රුසියානු රජයට එරෙහිව ක්‍රියාත්මක ආක‍්‍රමණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති පුටින් සඳහන් කළේ වැග්නර් කුලී හේවා බලකායට එරෙහිව දැඩි දඩුවම් ලබාදෙන බවයි.

මේ අතර, රුසියානු ෆෙඩරල් ආරක්ෂක ඒජන්සිය සඳහන් කර ඇත්තේ වැග්නර් බලකායේ ප‍්‍රධානියාට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකළ බවයි. ඔහුගේ නියෝග නොසලකා හරිමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස රුසියාව පෞද්ගලික හමුදා සමාගම් වලින් ඉල්ලීමක් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වැග්නර් බලකාය විසින් අත්පත් කර ගත් නගර දෙකෙන් එකක් වන වෙරොනිෂ් නගරයේ තෙල් ගබඩා පර්යන්තයක දැවැන්ත ගින්නක් හට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තවද, පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ මොස්කව් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට විශේෂ ප‍්‍රභූ ජෙට් යානා දෙකක් අද පස්වරුවේ පිටත්ව ගොස් ඇති බවට වාර්තා පළ වනවා.

රුසියාවේ හිටපු ජනාධිපති සහ එරට ආරක්ෂක කවුන්සිල ප‍්‍රධානියා වන දිමිත‍්‍රි මෙද්වදෙව් එම එක් ජෙට් යානයකින් පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required