
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය තිරිමාදුර උජිත් ද සොයිසා හෙවත් චූටි මාමා නැමැති පුද්ගලයාට වෙඩි තැබීමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව පොලිසිය පවසනවා. එසේම දැනට දකුණේ ක‍්‍රියාත්මක පාතාල කල්ලි ගැටුම් සහ මෙම ඝාතනය සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිළිබඳවත් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම මියගිය උජිත්ද සොයිසා හෙවත් චූටි මාමා දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවට ද වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට අද උදෑසන පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ, මීට මාස කිහිපයකට පෙර සිය සැමියා ඔහුට අයත් ත‍්‍රිරෝද රථයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු අනතුරට ලක් කළ බවයි. ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කරන බව බිරිඳ ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්.
අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ මසක් තුළ සිදුවූ තුන්වන වෙඩි තැබීම මෙය වනවා. පසුගිය මැයි 25 වනදා අම්බලන්ගොඩ – වතුගෙදර සහ ඊට පසුදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීම මීට පෙර වාර්තා වූ සිද්ධීන්.
මේ වසරේ ගතවූ කාලසීමාව තුළ වෙඩි තැබීම් 44 ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් තවත් 17දෙනෙකු තුවාල ලැබුවා.