
යුනෙස්කෝ සංවිධානය මගින් මහාවංශය මතක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මීට අදාළ නිල නිවේදනය පසුගිය 24 වනදා ප‍්‍රකාශයට පත් කළ බවයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප‍්‍රකාශ කළේ.
මීට පෙර මතක උරුමයන් ලෙස ලන්දේසි සමයට අයත් ලේඛන සහ 2005 සූනාමි සිදුවීමට අදාළ ලේඛන නම් කර තිබුණා. ඒ විවිධ වාර්තා හා සබැදිව යුනෙස්කෝ සංවිධානයට සිදු කළ නිර්දේශ අනුවයි.
මහාවංශය ලේඛනගත උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට අදාළව මෙරට සැදුම්ලත් කමිටුවක් මගින් පසුගිය වසරේ දී මෙම නිර්දේශ යොමු කර තිබුණා.
ඒ, යුනෙස්කෝ සංවිධානයේ ලෝකයේ පුරා ඇති ඓතිහාසික මතකයන් සදහා වැදගත්වන ලේඛනගත උරුමයන් පරිශීලනය සිදු කෙරෙන අංශය සදහායි.
මේ අතර යටත් විජිත ලෙස පැවති රටවල්වලින් ගෙනැවිත් නෙදර්ලන්තයේ රාජ්‍ය කෞතුකාගාර වල මේ වන විට තැම්පත් කර ඇති කෞතුක භාණ්ඩ නැවත හිමිකාරිත්වය දරණ රටවල් වලට භාර දීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව නෙදර්ලන්තය සතුව ඇති කෞතුක භාණ්ඩ අතුරින් භාණ්ඩ 6 ක් යටත් විජිත සමයේ මෙරටින් රැගෙන ගිය භාණ්ඩ බවට තහවුරු වී ඇති අතර ඒවා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ක‍්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.