/
/
title icon
මුතුරාජා ශ්‍රී ලංකාවට සමුදෙයි
මුතුරාජා ශ්‍රී ලංකාවට සමුදෙයි
Editor
1 year ago
Share:
මුතුරාජා ශ්‍රී ලංකාවට සමුදෙයි

තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා අද උදෑසන 7.30ට කටුනායක ගුවන් තොටුපලේ සිට තායිලන්තයේ බැංකොක් නුවර ෂියන්මායි ගුවන් තොටුපල වෙත රැගෙන ගියා.

ඒ, රුසියානු ඉලූෂියන් – 76 ගුවන් යානයෙන්.

මුතු රාජා නොහොත් සක්සුරින් හස්තියා විශේෂ කූඩුවක රඳවා මෙලෙස රැගෙන ගිය බවයි ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ. එම යානය මෙරට වේලාවෙන් දහවල් 12.30 ට තායිලන්තයට ගොඩබැසීමට නියමිතයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිට හස්තියා ඊයේ රාත‍්‍රියේ රැගෙන ආවේ විශේෂ රථයකින්.

විසි වසරකට පෙර තායිලන්ත රජයෙන් මෙරටට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා ශ්‍රී ලංකාව තුළ සිටි හීලෑ අලි ඇතුන්ගෙන් දිගම දළ යුගල හිමි හස්ති රාජයායි.

විසි වසරකට පෙර තායිලන්ත රජයෙන් මෙරටට පරිත්‍යාග කළ සක් සුරින් හෙවත් මුතු රාජා හස්තියා රැකබලා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පසුගිය සමයේ අනාවරණයන් සිදු කෙරුණා.

මුතුරාජා රැකබලාගැනීම වෙනුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව රැසක් වගකීම් පැහැර හැර ඇති බවටයි සත්ත්ව සංවිධාන එහිදී චෝදනා කළේ.

හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වන අන්දමින් මෙරට තුළදී රැකබලා ගැනීමට අපොහොසත්වීම සහ එම හස්තියාගේ ඉදිරි පාදයක් නැමීමට නොහැකි වීම මෙන්ම පසුපස පාදයක පවතින තුවාල නිසා මුතු රාජා යළි සිය රට ගෙන්වා ගැනීමට තායිලන්ත රජය අවධානය යොමුකර තිබුණේ එවන් පසුබිමකයි.

පෙනුමෙන් ඉතාම තේජාන්විත භාවයක් ඉසිලූ මුතුරාජා හස්තියා වසර ගණනාවක් මෙරට පෙරහර අවස්ථාවන්ට එක්කර තිබූ අතර මහනුවර ඓතිහාසික නාථ දේවාලයේ පෙරහරටද වසර කිහිපයකට පෙර දායකත්වය සපයා තිබුණා.

කෙසේ වෙතත් රැකබලා ගැනීමේදී දක්වා ඇති නොසැලකිලිමත්කම මෙන්ම අවස්ථා ගණනාවකදී රෝගාබාධවලට මුහුණ පෑමට එම හස්තියාට සිදුවුණා.

මේ අතර මුතුරාජා හස්තියා තායිලන්තයට රැගෙන යාම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය කිහිපයක්ම කරුණු වාර්තා කර තිබුණා.

කිලෝග‍්‍රෑම් 4000 ක් බරැති මුතුරාජා හස්තියා තායිලන්තයට රැගෙන යාමේ කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ හතක් වැයවී ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.

එම සත්වයා තායිලන්තයට රැගෙන යාමෙන් අනතුරුව ගුවන් තොටුපලේ අසළ ඇති ස්වභාවික රක්ෂිතයක නිරෝධායනය කිරීමටද නියමිතයි.

මුතුරාජා හස්තියා අද අලූයම රැගෙන යනු ලැබුවේ කන්ටේනරයක ප‍්‍රමාණයේ විශේෂ වානේ කූඩුවක වන අතර, ශ‍්‍රී ලාංකික ආරක්ෂකයෙකු සමඟ තායි හසුරුවන්නන් හතරදෙනෙකු ගුවන් යානයේ ඇතා සමඟ පිටත්ව යාමටයි කටයුතු කර තිබුණේ.

එමෙන්ම හස්තියා සිටින විශේෂිත කූඩුවේ සී සී ටී වී කැමරා දෙකක් ද සවි කර ඇති අතර, එහිදී මුතුරාජාගේ සෞඛ්‍ය තත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required