
දින 5 ක දීර්ඝ නිවාඩුවකට පසුව අද විවෘත කෙරුණු කොළඹ කොටස් හුවමාරුවේ දිනය අවසානයේ ගණුදෙනුවල කැපී පෙනන ඉහළ යෑමක් දක්නට ලැබුණා. එය වසර විස්සක ඉතිහාසය තුළ මිල දර්ශකවල සිදුවූ දෙවන විශාලතම වැඩිවීමයි.
අද දිනයේ සියලූ කොටස් මිල දර්ශකය සියයට 6.71 කින් ඉහළ ගිය අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය සියයට 10.29 කින් ඉහළ ගියා. ඒ අනුව දිනය අවසානයේදී සියලූ කොටස් මිල දර්ශකය ඒකක 633 යි දශම 6 යි 9 කින් ඉහළ ගොස් ඒකක 10076.64 ක් ලෙස දැක්වුණා. එමෙන්ම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 279.17 කින් ඉහළ ගොස් සටහන් වුයේ ඒකක 2992.82 ලෙසයි. දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.41 ක් ලෙස සටහන් වීමද විශේෂත්වයක්.
මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද යළි ශක්තිමත් වී තිබුණා. මහබැංකුව අවසන් වරට විනිමය අනුපාත නිකුත් කළ පසුගිය 28 වනදා එහි විකිණුම් මිල රුපියල් 316 යි ශත 67 ක් ලෙස දැක්වුණු අතර, අද එය දැක්වුණේ රුපියල් 314 යි ශත 98 ක් ලෙස ලෙසයි. ඩොලරයක ගැනුම් මිල රුපියල් 299 යි ශත 87ක් සටහන්ව තිබුණා. එය පසුගිය 28 වනදා දැක්වුණේ රුපියල් 301 යි ශත 15 ක් ලෙසයි.
මේ අතර ලෝක බැංකුව ශ‍්‍රී ලංකාවට අනුමත කළ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප‍්‍රකාශ කළා. ලෝක බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ලබාදීමට අනුමත කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 700 ක්. ඉන් මිලියන 500 ක් අයවැය සහන සඳහාත් ඉතිරි මිලියන 200 සමාජ ආරක්ෂණ කටයුතු සඳහාත් ලබාදීමටයි ලෝක බැංකුව තීරණය කළේ. ඒ අනුව අයවැය සඳහා වෙන්කරන ලද මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් මෙලෙස ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති බව සඳහන්.
මේ අතර අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි කිලෝග‍්‍රෑම් 12 දශම 5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින් අඩු කර තිබෙනවා. ඒ අනුව රුපියල් 3,186 කට අලෙවි වූ එම වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2, 982 ක් දක්වා පහත වැටෙනු ඇති.
එමෙන්ම කිලෝග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,198 ක්. එමෙන්ම කිිලෝග‍්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 37 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 561 ක්.
වසර 2 කට පමණ පසුවයි ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙදහස සීමාවට ළඟාවුණේ. වසරේ මේ දක්වා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කෙරුණු අතර එක් අවස්ථාවකදී හැර අනෙක් සියලූ අවස්ථාවල මිල පහත දැමුවා.
ගෑස් මිල යළි අඩුවුවත් එහි වාසිය තමන්ට හිමි නොවන බවට ජනතාව චෝදනා කරනවා.
එමෙන්ම ජාතික පාරිභෝගික පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති එන්.පී.කේ වනිගසිංහද සදහන් කළේ වහාම ගෑස් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දිය යුතු බවයි.