
පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම සාකච්ඡාවේදී නව පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස්පති ධුරයට කවරෙකු පත් කළ ද ඔහු පත් කෙරෙන්නේ එම ධුරයේ වැඩබැලීම සදහා මාස 3 ක කාලයකට පමණක් බවද සඳහන්.
හිටපු පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්නගේ සේවා කාලය පසුගිය 26 වනදායින් අවසන් වූවද පොලිස්පති ධුරය තවමත් පුරප්පාඩුවයි පවතින්නේ.
ඒ අනුව, අද වනවිට පොලිස්පති ධුරය හිස්වී දින 14ක කාලයක් ගතවනවා.
එවැනි පසුබිමක ජාතික පුවත්පත් කිහිපයක් ඊයේ වාර්තා කර තිබුණේ සී.ඩී. වික‍්‍රමරත්නට යළි සේවා දිගුවක් ලබාදීමේ සූදානමක් ද ඇති බවයි.
කෙසේ වෙතත්, පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පොලිස්පති තනතුර සම්බන්ධයෙන් සිය තීරණය අද සාකච්ඡාවේදී තමන්ට දන්වන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යවරයාට දැනුම්දී ඇතැයි ද සඳහන්.