
ප්රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික‍්‍රමරත්න සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු සියලූ ආයතන ආවරණය වන පරිදි එම විමර්ශනය සිදුකරන බවයි. ප‍්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් මෑත කාලයේ දිගින් දිගටම විවිධ ප‍්‍රදේශවලින් තොරතුරු වාර්තා වුණා.
ඖෂධ මිලදී ගැනීම් සහ ඒවා බෙදාහැරීම් පිළිබඳ පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් දැනටමත් විගණකාධිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එය මේ වන විට පවතින්නේ අවසන් අදියරේයි. එම විමර්ශනය අවසන් කළ වහාම එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම ප‍්‍රමිතියෙන් තොර ඖෂධ සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිත කර ඇති බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් මෑතකදී සිදුකළ විමර්ශනයකදී තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව පසුගියදා පැවති පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීද විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණා.
මේ අතර 2024 වසරේ ඖෂධ සැපයුම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට තවමත් නිසි සූදානමක් නොමැති බැවින් ලබන වසරේදීද ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.